සයිබර් අපරාධ හා කාන්තාව.....
සයිබර් අපරාධ යනු වර්තමානයේ ලෝකය පුරා කාන්තාවන් සහ ගැහැනු ළමයි මුහුණපාන සුලබ සහ අති බිහිසුණු අපරාධය බවට පත්ව ඇත.සයිබර් අපරාධවලින් දැඩි සේ වින්දිත භාවයට හෝ අපයෝජනයට ලක් වන්නේ කාන්තාවන් සහ ගැහැනු ළමයි බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ විට කාන්තාවන් සමාජ සම්බන්ධතා ජාල මඟින් සිය පවුලේ සමීපතමයන් සහ මිතුරු මිතුරියන් සමඟ විවිධාකාරයේ සම්බන්ධතා පැවැත්වීමට දැඩි නැඹුරුවක් සහ රුචියක් දක්වන බැවින් සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරක් බවට පත් වන බවයි. විශේෂයෙන් කාන්තාවන් සිය ඡායාරූප සහ අතිෂය පෞද්ගලික තොරතුරු පවා සමාජජාලාවල හුවමාරු කරගැනීම, තෑගි බෝග යැවීම ඇතුළු නිරන්තරයෙන් සිදු කරන ක්‍රියාකාරකම් සයිබර් අපරාධවලට ගොදුරු වීමට පහසු අවස්ථාවක් නිර්මාණය වන බව සමාජ විද්‍යාඥයන්ගේ විසින් හඳුනාගෙන ඇත.
මේ තත්ත්වය තුළ සයිබර් අපරාධකරුවෝ වඩාත් සක්‍රීය භාවයට පත් වන අතර විශේෂයෙන් කාන්තාවන් සයිබර් අවකාශයේ වඩාත් නිරාවරණය වූ කොටස බවට පත් වෙති. උදාහරණයක් ලෙස බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය ජාල මඟින් හඳුනා ගන්නා පුද්ගලයන් සමඟ ප්‍රේම සම්බන්ධතා ආරම්භ කර ගැනීම හෝ තම පෙම්වතා සමඟ සමාජ මාධ්‍ය තුළ සංවාදය, ඡායාරූප හෝ වීඩියෝ හුවමාරු කර ගැනීම නිරන්තර පුරුද්දක් වශයෙන් කරති. මෙවැනි අවස්ථාවක සයිබර් අපරාධකරුවන්ට අදාළ කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය මඟින් තම ඡායාරූප ඇතුළු අතිශයින් පුද්ගලික තොරතුරු හුවමාරු කරගන්නා පෙම්වතියන් අදාළ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණු විට සයිබර් අපරාධවල පහසු ගොදුරක් බවට පත් වන අවස්ථා නිරීක්ෂණය කළ හැකි ය.
මේ අතර සයිබර් විශේෂඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් සයිබර් අවකාශය තුළ සිදුවන තවත් දැවැන්ත සයිබර් අපරාධයක් දෙය සමාජයේ අවධානය යොමු කරනු ලැබේ. ඒ අන්තර්ජාලය මඟින් සිදු වන ලිංගික වෙළෙඳාම සහ ලිංගික සූරාකෑමයි. මෙය සයිබර් අවකාශය කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන දරුණුතම අවස්ථාව වශයෙන් ඔවුහු හඳුන්වා දෙති.සයිබර් අවකාශයට නිරාවරණය වන දරුවන්, විශේෂයෙන් ගැහැනු දරුවන් සම්බන්ධ තත්ත්වය ද කාන්තාවට නොදෙවැනි බව හඳුනාගෙන ඇත. තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක්‍රීඩාවක් වශයෙන් ද මිතුරු - මිතුරියන් සමඟ වඩාත් සමීප සම්බන්ධතා පවත්වාගෙන යෑමේ මාධ්‍යයක් වශයෙන් ද, සමාජජාලා භාවිත කරන ගැහැනු ළමයි සේම පිරිමි දරුවන් ද, සයිබර් අවකාශය හරහා බහුල වශයෙන් හුවමාරු වන ලිංගික ප්‍රකාශන, නිරුවත් ඡායාරූප හෝ ලිංගික ක්‍රියා ඇතුළත් ඡායාරූප හෝ වීඩියෝ පට සඳහා යොමු වීමේ සුලබ අවදානමක් ඇත. ඒ අතර ඉතා සංවිධානාත්මක ආකාරයෙන් විවිධ විෂම පුද්ගලයන් සයිබර් අවකාශය හරහා දරුවන් සමඟ නොමනා සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රවණතාවක් මේ වන විට පවතින අතර දරුවන් එහි ගොදුරු බවට පත්වීම ද සුලබ බව හඳුනා ගෙන ඇත. මේ තත්ත්වයෙන් දරුවන් ද සයිබර් අවකාශයේ වින්දිතයන් බවට පත්ව හුදෙකලාව සිටිනු දැකිය හැකි වන්නේ බොහෝ දරුවන් මේ පිළිබඳ තම වැඩිහිටියන් දැනුවත් කිරීමට තබා තමන් සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටින බව පවා නොදන්නා නිසා ය. මේ තත්ත්වය සයිබර් අපරාධරුවන්ට පහසු ගොදුරු බිමක් නිර්මාණය කරන බව සමාජ විද්‍යාඥයන්ගේ අදහසයි.පාඨක ඔබ සිතිය යුත්තේ අන්තර්ජාලයේදී හමුවන සියලු දේ සත්‍ය නොවන බවය.
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යයි කතාවට කියති. අන්තර්ජාලයේ සැරිසරන ඔබටත් එම කියමන පොදුය. නැතිනම් සයිබර් අපරාධකරුවෙකුගේ ඉලක්කය ඔබ විය හැකිය.
Nice...
ReplyDelete