යටත් විජිත පාලනයෙන් වැනසූ සාම්ප්‍රදායික දැනුම........ අපේ වාරිමාර්ග තාක්ෂණයේ තිබූ අතිශය සංකීර්ණ හා සූක්ෂම සිද්ධාන්ත අපට අවබෝධ කරගත හැකි වී ඇත්තේ ඉතාම මෑතක සිටය. ඒ අපි කළ වැරදි නිසා අත් විඳි ප්‍රතිවිපාක මගිනි. නමුත් අද වන විටත් ඉන් සමහර සිද්ධාන්ත අපේ දැනුමෙන් විග්‍රහ කිරීමට හැකියාවක් නොමැතිය. මේ තාක්ෂණික සිද්ධාන්තවල සංකීර්ණත්වය අවබෝධොකර ගැනීමට කදිම නිදසුනක් තිබේ. ඒ යෝධවැවයි. මෙහි පළමු සැතපුම් 17 තුළ සැතපුමකට අඟල් 6ක දිය බැස්මක් සහිතව කලා වැවේ සිට අනුරාධපුරයට දිය ගෙන යාම සිදු කර ඇත. ඒ අදින් වසර 1500කට පෙරාතුවය. ලංකාව යටත් විජිතයක් වන විට රජරට හා පොළොන්නරු යුගවල දී ඉදි වූ සුවිශේෂී වාරිමාර්ග බොහෝමයක් වල් බිහිවී තිබුණි. (අධ්‍යනය කරන්න- එල්. ආර්. බ්‍රෝහියර්ගේ ‘බ්‍රෝහියර් දුටු ලංකාව’ සහ ‘ලක්දිව පුරාතන වාරිමාර්ග’ ) යටත් විජිත සමයේ දී උගත් බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන් ඇතුළු විද්වත්හු මේ සුවිශේෂ වාරිඉන්ජිනේරු ශිල්පීය නටඹුන් දැක විශ්මයට පත් වූහ. එහෙත් කිසිවිටකත් මේ වාරිමාර්ග තාක්‍ෂණයේ සැබෑ සිද්ධාන්ත හා ඒවාට පදනම් වූ පරිසරය සමඟ ඈඳුනු දේශිය ඥානය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන් සතු නොවීය....