ඔබේ හදවත සනසන ප්‍රේමයම විටෙක ඔබේ හදවත නවතයිද ??




පෙම් කවක් ලියූ ඔබ සිත් අහසෙ....
එය මකා දමා ගිය හැටි රහසේ....
ඔබ මෙතෙක් රැදී උනි මා මනසේ....
පෙම් පුරාවතක්,
නිමා කරන්නද,
මා කෙලෙසේ.......
ඔබ යන්නම යන්නම යනවා නම්...
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්... //
යලි එන්නට එන්නට සිතුනෙ නම්....
යලි එන්න එපා මගෙ සිත තහනම්......
හුරතලෙන් දැවටිලා මගෙ ලහින්...
දුන් සතුට එපමනද මට පවසන්....//
සද එලිය පොලවටයි හිමි වූයේ...
සද අහසේ රැදුනාද රත්තරනේ.....

කවිය වනාහි රස හැඟුමන් ආකරයකි. මම අද ඔබට කියන්‌නේ  අපගේ ගීත පිළිබිඹුවේ සැබෑ සාහිත්‍ය  රසවින්දනාත්මක නිර්මාණයක් වූ මා හදේ ලැගුම්ගත්  අපුර්ව ගීතයක් පිළිබඳවයි. ඒ කරුණාරත්න දිවුලගනගේ අපූරු හඬින් වැයෙන සුරම්‍ය මාපිටිය මහතාගේ අපූරු  පරිකල්පන ශක්තියෙන්  රචනා වූ  පෙම් කවක් ලියූ නුඹ   සිත් අහසේ යන ගීතය පිළිබඳව විචාරයක් එක්  කිරීමටයි. 
ගීතය වනාහි අපූරු ගී පද වැල් වලින් සමන්විත ගැඹුරු අර්ථයකින් හෙබි ලයාන්විතව අප හදවත් නිවා සනහාලන  හැඟුමන් සමුදායක කැටි වීමකි. ප්‍රේමය  ගීතයකට සමාන කළ හැක්කක් නොවේ ද මා එසේ ඔබට කියන්නේ විටෙක  ගීතයක්  මෙන් ප්‍රේමවන්තයන්ගේ  හදවත් සනහාලන ප්‍රේමයම තවත් විටෙක දී ඔවුන්ගේ හදවත් හඩවනු නොවේද  මෙකී යථාර්ථය මුසු ප්‍රේමයේ විරහව මේ පද්‍ය පන්තියෙන් නිරූපණය කරයි.
"පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
 එය මකා දමා ගිය හැටි රහසේ
 ඔබ මෙතෙක් රැඳී හුන් මා මනසේ
පෙම් පුරාවතක් 
නිමා කරන්නද මා කෙලෙසේ". 
දිගු කාලයක් දෙහදක් තුළ ලැගුම් ගත් ප්‍රේමය  යනු, සැබවින්ම පුරාවතක් වැන්නකි.  දින කිහිපයක් වැනි කෙටි  කාලයක ප්‍රේමයක් වුවද ඒ ප්‍රේමවන්තයන්ට එය දැනෙන්නේ කල්ප ගානක් මෙන් නොවේ ද? දීර්ඝ ප්‍රේම වෘත්තාන්තයක් පිලිබදව ගෙන එන මේ ගීතය මගින්  නිරූපණය වන්නේ වත්මන් ප්‍රේම කතාන්දර තුළ ජීවත් වන  සැබෑ තරුණ පරපුර යැයි මා හට සිත් වේ. මෙවන් ඉරණමකට මුහුණ දෙන ‍ප්‍රේමවන්තයකු හෝ ප්‍රේමවන්තියක සැබැවින්ම වත්මන් ලෝකයේ හමු  නොවන්නේ නම් එය සැබැවින්ම මුසාවකි .
අහස් තරම් ප්‍රේම කළද එය කොතරම් දීර්ඝ කාලයක් වුව ද මේ ප්‍රේමය නම් රාමා සීතා, සුගත් දම්මි.. වැනි පෙම්වතුන්ගේ ‍ ප්‍රේමාදරයන් මෙන් නැවන එක් වන ප්‍රේමයක් නම් නොවේ. ප්‍රේමය යනු බලෙන් සිර කොට තබා ගත හැකි සිතුවිල්ලක් නොව නමුත් එවැනි කොටුකර සිරකර තබා ගන්නා ගන්නා ප්‍රේමකතා තුල අප දකින පෙම්වතුන්ට වඩා මේ ප්‍රේමයේ තනි වූ පෙම්වතා හෝ පෙම්වතිය සැබැවින්ම ශ්‍රේෂ්ඨය.  නික්ම යන ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තියව ඔහු හෝ ඇය බලෙන් රඳවා නොගනී. ගීතයේ සඳහන් වන "ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් " යන පාඨය එයට සාක්ෂි දරයි. මගහැර යන ඔහු හෝ ඇයගෙන් පළිගන්නා ප්‍රේම කතා අතර මෙම ප්‍රේමය සත්‍ය වූ ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් ලෙස  හැකිය හඳුනාගත හැකිය. ආදරය කොටුකර සිරකර තබා ගන්නවාට වඩා ඔහුට හෝ ඇයට නිදහසේ වෙන්ව යාමට අවසර දීම තරම්  අවංක ප්‍රේමයන් අද ලෝකයේ  විරලය.  
ලෝකයේ කවර ප්‍රේමවන්තයකුට හෝ ප්‍රේමවන්තියට තම ආදරය අහිමිවීම  යනු අතිශයින් වේදනාකාරී අත්දැකීම්කි. එකී යථාර්ථය මැනවින් නිරූපණය කරමින් අවසන් වන පද්‍ය පංතිය නිමාවේ දී  මෙම ප්‍රේම වෘත්තය නැවතීමේ හේතුව ව්‍යංගාර්ථවත් ලෙස  නිරූපණය කරයි.  එනම් සඳ එළිය හිමිව ඇත්තේ පොළොවට නමුදු සඳ  රැදී ඇත්තේ අහසේය යන්න අපූරු ව්‍යංගාර්ථවත් යෙදුම
"සඳ එලිය පොළොවටයි හිමිවූයේ.. 
සඳ අහසෙ අහසෙ රැදුනාට රත්තරනේ".
මෙම විරහා දුක විඳින ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය තම ආදරය වෙනුවෙන් කොපමණ කැපවීම් සිදු කළ ද ඒ කිසිවකින් ඔහුට හෝ ඇයට පලක් නොවී ඇත. ඔහු හෝ ඇය  ආදරය කළ ,  ආරක්ෂා කළ ප්‍රේමය දැන් හිමිව ඇත්තේ වෙනත්  හිමිකරුවෙකුට හෝ  හිමිකාරියකට බව  පැහැදිලි කෙරෙන යෙදුම මගින් පද්‍ය  පන්තිය අවසන්ව ඇත.
තම ප්‍රේමය  අහිමි වූ පසු ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් පළිගන්නා යුගයක  ඇයට හෝ ඔහුට නිදහසේ වෙන්ව යාමට අවසර දීම සැබැවින්ම අවංක ආදරයක යථාර්ථයයි. වත්මන් ලෝකයේ හතු  පිපෙන්නා සේ බිහිවන නව පරපුරේ ගීතයන්ට නව අර්ථයක් සපයා දෙන ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙසින්  සුරම්‍ය මාපිටිය මහතාගේ හදවතට නැගුණු කරුණාරත්න දිවුල්ගනගේ සූරීන්ගේ ලයාන්විත ස්වරයෙන් මුසුවුණු මෙම ගීතය  හඳුන්වා දිය හැකිය. එය අප හදවත් තුළ සදා ජීවමාන ව පවතින්නේ එකී යථාර්ථවාදී  ලක්ෂණ නිසාමය.

                                                                      

                                                                                    නිර්මාණය.- ශෂිණි සුදේශිකා අත්තනායක.

Comments

  1. Great article 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog